![]() |
කාතන්කුඩි පල්ලියේ සංහාරයෙන් මෙහොතකට පසු |
කොටින් විසින් කරන ලද වාර්ගික ශුද්ධ කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස සැලකිය හැකි මෙම නීච ක්‍රියාව පිළිබඳ ඇති තරම් ලියැවී ඇති බැවින් තවත් ලියන්නට උවමනා නැත. ප්‍රසන්න විතාගගේගේ ඉර මැදියම චිත්‍රපටයේ මේ පිළීබඳ කලාත්මක නිරූපණයක් ඇත.
කරුණා අම්මාන්ගේ නායකත්වයෙන් යුත් එල්.ටී.ටී.ඊ. නැගෙනහිර බලකාය මඩකලපුවේ කාත්තන්කුඩි පල්ලියේ යාඥා කරමින් සිටි මුසල්මානයන් 147ක් සංහාරය කළේ යාපනයෙන් මුස්ලිමුන් පළවා හැරීමට මාස කීපයකට පෙරයි.
කොටි සංවිධානයට හිතවත් පිරිස් මෙම සිද්ධි පිළිබඳ පසු කලෙක කළ පැහැදිලි කිරීම මෙසේ ය: 'මේ පිළිබඳව විමුක්ති කොටි කණගාටු වෙනවා. ඒ බව මුස්ලිම් වැසියන්ට දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා. නැවත එවැනි දේ සිදු නො වන්නට වග බලා ගන්නවා.'
වග බලා ගත්තේ කෙසේ ද? 2006දී ආණ්ඩුව සමග අවබෝධයෙන් මාවිල්ආරු වේල්ල වසා යුද්ධය ආරම්භ කළ කොටි සංවිධානය මාවිල්ආරු පරාජය වසා ගත්තේ මූතූර් නගරයට පහර දීමෙනි. මුස්ලිම් වැසියන්ගේ හිසට උඩින් ආණ්ඩුව සමග කළ වෙඩි තබා ගැනීමෙන් මූතූර් මුස්ලිම් වැසියන් අනාථ වද්දී කොළඹ දෙමළ ජාතිවාදීහු ප්‍රීතියෙන් ඔද වැඩුණු ආකාරය අපට මතක ය.
දෙමළ අරගලය ආරම්භ වුණේ ලංකාවේ දෙමළ බස කතා කරන ජනයාගේ අරගලයක් ලෙසයි. මන්ද, දෙමළ බස කතා කරන ප්‍රජාවන් සමූහයක් මිස දෙමළ කියා ජාතියක් විසිවන සියවසේ මුල් යුගයේ තිබුණේ නැත. මේ කතාව සිංහලයන්ට ද අදාළ ය. දෙමළා අනෙකා නො වුණා නම් සිංහල කියා ජාතියක් හැදෙන්නේ ද නැත. මුල් කාලයේ ම මේ භාෂා ප්‍රශ්නය විසඳා ගත හැකි වී නම් අද අපි ඇත්තෙන් ම ලාංකික ජාතියකි.
සිංහලයා මෙහිදී වඩා දක්ෂ විය. සිංහල බස කතා කරමින් සිටි සියවස් කීපයකට පෙර මෑත යුගයේ රටට සංක්‍රමණය වූ ද්‍රවිඩ සම්භවයක් සහිත දකුණු ඉන්දියන්කාරයන්ගෙන් පැවත එන නලින් ද සිල්වා වැනි අය පවා සිංහල අනන්‍යතාවේ ප්‍රකාශකයන් බවට පත් වීමෙන් හා මීගමුව හා කොළඹ වැනි ප්‍රදේශවල විශාල දෙමළ ජනගහණයක් සිංහලට ස්වීකරණය වීම භාර ගැනීමෙන් මේ බව පෙනේ.
එහෙත්, දෙමළ ජනයා යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරම, වන්නිය, මඩකලපුව වැනි ප්‍රදේශවල විසිරී සිටි දෙමළ බස කතා කරන හින්දුන්ට ප්‍රමුඛත්වය දෙමින් මුස්ලිම් ජනයා බැහැර කිරීමේ ප්‍රතිඵලය වූයේ මුස්ලිම් ජනයා දෙමළ අනන්‍යතාවෙන් ඈත් වීමයි. එහෙත්, දෙමළ ජාතිකවාදී සන්නද්ධ ව්‍යාපාර ආරම්භක සමයේ පමණක් නො ව කොටි සංවිධානයේ ඉතිහාසයේ මුල් කාලයේ පවා එහි මුස්ලිම් සහභාගිත්වයක් තිබිණි.
එහෙත්, යාපනයේ කුලවාදී උද්ධච්ච දෙමළු තමන් අති පිරිසිදු නියම දෙමළුන් ය කියා ප්‍රදර්ශනය කරන්නට දැරූ ජාතිවාදී තැත අවසානයේ කොටි සංවිධානයට ද බෝ විය. ප්‍රභාකරන් යන සංස්කෘතකරණය වූ දෙමළ නම ශුද්ධ දෙමළෙන් පිරපාහරන් කියා කියද්දී ඔහුගේ කුලය වූ කඩලෝඩි කරායර් ලංකාවට ආවේ ද දකුණු ඉන්දියාවෙන් බව යාපනය දෙමළුන්ට අමතක විය. (පිරපාහරන් යන වචනය අපහාසාත්මකව පාවිච්චි කළ අදය ගම්මන්පිල වැනි හෙළ උරුම තක්කඩින් මෙම පසුබිම දැන සිටියා නම් එය දකුණේ ප්‍රචාරය කරන්නේ නැත.)
ලංකාවේ දෙමළ කැරැල්ල පරාජය වූ පසු මුළු ලෝකයේ ම දෙමළ ජනයාගේ රාජ්‍ය ගොඩනැඟීමේ අරගලයට උර දී සිටින බව කීව ද කොටි සංවිධානයේ මේ ලෙඩේ තව ම සුව වී නැත. දැන් එහි නො නිල නායකයා වන නෝර්වේහි සිටින සිංහලෙන් 'දිගා' ලෙස පරිවර්තනය කළ හැකි නෙදියවන් නම දරන පුද්ගලයා නෙදියොන් ලෙස සිය නම වෙනස් කර ගන්නේ ද මේ ශුද්ධ දෙමළ පිස්සුව නිසා ය.
ලෝකයේ ම දෙමළ ජනයාට රාජ්‍යයක් දිනා දෙන්නට සටන් කරන කොටි සංවිධානයට ලංකාවේ මධ්‍ය කඳුකරයේ සිටින ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා හැමදාමත් හිරිකිත ය. මුසල්මානයන් අපුල ය.
අන්තිමේදී එක ජාතියක් ලෙස නැඟී සිටින්නට ඉඩ තිබුණු මේ දිවයිනේ ජනයා භාෂා පදනමින් බෙදුණාට අමතරව දෙමළ කතා කරන මුස්ලිමුන්ට ජාතියක් ද අහිමි විය. ලංකාවේ සිටින්නේ සිංහල, දෙමළ නම් ජාතීන් දෙකක් නම් මුස්ලිම් ජනයා අයත් වන්නේ කුමන ජාතියට ද? මුස්ලිමුන්ට අෂ්රෆ් කෙනෙකු හා මුස්ලිම් කොංග්‍රසයක් ද, පසුකාලීනව ඔලුවිල් ප්‍රකාශය නමින් වෙන ම මුස්ලිම් ස්වයං පාලනයක් ද ඉල්ලා සිටින්නට සිදු වන්නේ මෙම සංදර්භය තුළයි.
ලංකාවේ මුස්ලිම් ජාතිවාදයේ තිඹිරි ගෙය හදා දුන්නේ සිංහලයෝ හා විශේෂයෙන් ම යාපනේ දෙමළු ය.
මහින්ද කවුරු වුණත්, ඔහු යටතේ යාපනයෙන් අතු ගා දමන ලද මුසල්මානයන්ට යළි සිය ගම්බිම් වෙත ආපසු පැමිණීමේ බලාපොරොත්තුවක් හෝ ඇති වී තිබේ.
No comments:
Post a Comment